Spread the love

බස්නාහිර ප්‍රදේශ මහනගර ප්‍රධාන සැලැස්ම, නැගෙනිර පළාත් උපාය මාර්ගික සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්ම හා හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලැස්ම යන සැලසුම් ත්‍රිත්වය සැකසීමේ කටයුතු මෙම වසරේදී අවසන් කෙරේ .

බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම, නැගෙනහිර පළාත් උපාය මාර්ගික සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්ම හා හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලැස්ම යන සැලසුම් ත්‍රිත්වය සකස් කිරීමට අදාළ දත්ත හා තොරතුරු රැස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් අභ්‍යන්තර සාකච්ඡා සිදුකරමින් පවතින බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ.

අදාළ සැලසුම් තුන සකස්කිරීම අවසන්කර හඳුනා ගන්නා ප්‍රධාන ව්‍යාපෘති සඳහා ආයෝජන යෝජනා කැඳවීමට නියමිතය. එලෙස ආයෝජකයන් මඟින් ආයෝජන යෝජනා කැඳවීම තුළින් රටට ඩොලර් ආයෝජන ලබාගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

මෙම සැලසුම් සැකසීම සඳහා සර්බානා ජුරොංග් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙතින් උපදේශන සේවා ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ඉහත සැලසුම් තුන සැකසීම උපදේශන සේවා ගිවිසුම් තුනක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සහ සර්බානා ජුරොංග් ආයතනය අතර පසුගිය වසරේ අගෝස්තු මස 25 වැනිදා අත්සන් තබා තිබේ.

යෝජිත සැලැස්ම අනුව බස්නාහිර පළාත් ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙසත්, නැගෙනහිර පළාත හා හම්බන්තොට දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙසත් සංවර්ධනය කරන බවයි.

හම්බන්තොට මහනාගරික ප්‍රදේශ සඳහා ක්‍රියාත්මක හම්බන්තොට මහනගර සංවර්ධන සැලැස්ම මෙගා පොලිස් සැලැස්ම යටතේ ක්‍රියාත්මක වේ. එමෙන්ම ත්‍රිකුණාමලය මහනගර සංවර්ධන සැලැස්ම යටතේ නැගෙනහිර පළාතේ මුහුදුබඩ ප්‍රදේශවල නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමට අපේක්ෂා කෙරේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම මේ වනවිටත් සකස්කරමින් පවතින අතර එය මේ වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි.

වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා ප්‍රධාන වශයෙන් බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම ඉතා වැදගත්වේ. ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රදේශ 10ක් සඳහා සැලසුම් 13ක් දැනට සකස්කර තිබේ. එම සැලැස්ම තවදුරටත් යාවත්කාලීන කොට වඩාත් ඵලදායි සැලැස්මක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ වාණිජ නගර සංවර්ධනය, පාර්ලිතමේන්තුව අවට ප්‍රදේශ සංවර්ධනය, කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා මුහුද ගොඩකර සිදුකරනු ලබන සංවර්ධනය, බොරැල්ල නගර සංවර්ධනය, පෑලියගොඩ නගර සංවර්ධනය, ඒකල නගර සංවර්ධනය, කඩුවෙල-මාලබේ සංවර්ධනය, හෝමාගම නගර සංවර්ධන සැලසුම පිළිබඳව එහිදී සාකච්ඡා විය.