Spread the love

සරම්ප රෝගීන් වැඩිපුර වාර්තා වන දිස්ත්‍රික්ක 09 ක ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙළ පිළිබදව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම්වරයා ,

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස 2019 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය අපට ලැබුනා. එය කළාපයේ රටවල් 03 කට පමණයි ලැබුනේ. ඉන් එක රටක් තමයි ශ්‍රි ලංකාව. ලෝකය පුරා ප්‍රතිශකිත්කරණ වැඩපිළිවෙල ශක්තිමත්ම සහ ආවරණය වැඩිම (සියයට සියයක් සහ සියයට 99.5 ක්) රට ශ්‍රී ලංකාව. කොවිඩ් වසංගතය සමග ප්‍රතිශක්තීකරණ ආවරණය ලෝකය පුරාම අඩු වුණා. මේ නිසා ලෝව පුරා සරම්ප රෝගීන් වාර්තාවිමක් දක්නට ලැබෙනවා. ඉන්දියාව, පකිස්ථානය ඇතුලු බොහෝ රටවල මෙය වාර්තා වෙනවා. සංවර්ධනය වූ රටවල පවා වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව තුල පසුගිය කාලය සරම්ප රෝගීන් වාර්තා වනු දැකගන්නට ලැබුනා. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වන්නේ. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර , යාපනය, කුරුණෑගල සහ කල්මුණේ ඒ දිස්ත්‍රික්කයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කළාපයේ තිබෙන කාර්යාලයත් සමග සාකච්ඡා කර, ජීනිවා කාර්යාලයත් සමග සාකච්ඡා කර ඒ පිළිබද විද්වත් අදහස් ලබාගෙන විශේෂ වැඩසටහනක් සුදානම් කළා. මාස 06 ත්, 09 අතර ළදරුවන්ට සරම්ප මාත්‍රාවක් ලබාදිමට. එම වැඩසටහන වැඩිපුරම සරම්ප රෝගින් වාර්තා වන දිස්ත්‍රික්ක 09 තුල පමණයි ක්‍රියාත්මක කෙරෙන්නේ. මෙම වැඩසටහන 2024 ජනවාරි මස 06 වනි සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි. ලගම ඇති සායනයෙන් මෙම එන්නත් ලබාදීම සිදු කරනු ලබනවා. වයස මාස 09 ත් 15 ත් අතර, කිසියම් අයෙකුට සරම්ප එන්නත් ලැබී නැතිනම් ඒ අය සදහා ද සරම්ප එන්නත් ලබාදිම ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

නැවැත වරක් සති දෙකකට පසු ජනවාරි මාසයේ තුන්වන සතියේ නැවත මෙවැනි වැඩසටහනක් දිප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි අරමුණ සරම්ප රෝගීන් වාර්තාවීම අවම කර ගෝලිය වශයෙන් සහ කළාපීය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද උපදෙස් අනුව කටයුතු කරමින් මෙරට සරම්ප රෝගීන් අවම මට්ටමකට ගෙන ඒම.