Spread the love


නව වසරේ එලඹෙන සංචාරක සමයත් සමඟ සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොලඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නාවුක කොට්ඨාශය පවසයි.
එමෙන්ම ඉදිරි වසර වලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොලඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇත.
එබැවින් එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම මෙහෙයුම්ප කටයුතු සඳහා බණ්ඩාරණායක තටාකය පිහිටි ජැටිය යොදා ගැනීමටත්, එම ස්ථානයේ පිහිටි ගබඩා වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමටත්, වරාය, නාවික හා
ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව මීටර් 350 ක් දිගින් යුතු විශාල නෞකා 03ක් එකවර පැමිණියත්, එම මෙහෙයුම් කටයුතු සහ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.
එම බණ්ඩාරණායක තටාකයේ සංවර්ධන කටයුතු සිදු කරන තෙක්, පැරණි මගී පර්යන්තය තුල සහ ඒ අසල සංචාරකයින්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබා දීමටත්, අවන්හල් සහ වෙලඳ භාණ්ඩ අලෙවි සැල් පවත්වාගෙන යාමටත්,අවශ්‍ය පහසුකම් සැපයීමට වරාය අධිකාරිය විසින් ක්‍ෂණික වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.
මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ( 19 ) දින පැරණි මගී පර්යන්තයේ සහ බණ්ඩාරණායක තටාකයේ දැනට පවතින තත්වය පිලිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.