Spread the love

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කුඩා ගඟේ පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බවය.

ඒ අනුව ඉදිරි පැය 3ත් 24ත් අතර කාලය තුළදී බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතී.

එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රථවාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටී.