Spread the love

රාගම නගරයේ ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානයක් කොල්ල රුපියල් කෝටි 14 ක් වටිනා රන්භාණ්ඩ තොගයක් සහ රුපියල් හය ලක්ෂ විසි නවදහසක මුදලක් ද සමගින් සැකකරුවන් පස් දෙනෙකු රාගම පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගැනුණේ, රාහුල අමරසේකර සිරිවර්ධන නොහොත් රාගම රයිලි නැමැත්තා ඇතුළු පස් දෙනෙකි.

අදාළ කොල්ලය උකස් මධ්‍යස්ථානයේ හිමිකරුගේ මව සහ මුදල් අයකැමිවරියගේ අනුදැනුම මත සිදු වූ එකක් බව පොලීසිය අනාවරණ කරගෙන ඇති අතර, ඊට අදාළ සීසීටීවී දර්ශන ද මේ වන විට සොයාගෙන ඇත.

කොල්ලකරුවන් පැමිණීමට පෙර උකස් මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරිය එහි සේප්පුවෙහි වූ ස්වර්ණාභරණ බෑගයකට දමන ආකාරය ද සිසීටීවී දර්ශනවල සඳහන් ව තිබිණි.

ඒ අතරවාරයේ කොල්ලයේ මහ මොළකරු වන රාගම රයිලි එහි පැමිණෙන අතර, සෙසු කොල්ලකරුවන් පැමිණෙන්නේ, ඔහුගේ විධානයට අනුවයි.

කොල්ලකරුවන් එහි සීසීටීවී කැමරා පද්ධතිය ක්‍රියා විරහිත කරන්නේ, පැයක පමණ කාලයක් එහි ගතකිරීමෙන් පසුවයි.

ඒ අනුව සීසීටීවී දර්ශන පරීක්ෂා කරන පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.