Spread the love

රටේ කොන්ද පණ ඇති කෙලින් තීරණ ගන්න විනිසුරුවරුන්ට ආචාර කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා කල ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුව අමතමිනි.

අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාලව 2023-12-02 වන දින කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා 2023-12-04 වන දින එතුමාට විරුද්ධව යම් ප්‍රකාශයක් කරල තිබුනා. එහිදී එතුමා ප්‍රකාශ කර සිටියා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු ඒ.එච්.එම්. නවාස් මහතාට සාප කරනවා කියා කියු බවත් එය සදාචාරාත්මක නොමැති බැවින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයදිය යුතු බව. තවද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නඩුව විභාග කිරීමෙන් ඉවත්ව ගිය විනිසුරුවරුන් හතර දෙනකුගේ සඳහන් කරමින් ඔවුන් ඉවත් වීමට යම් හේතු ද පවසා සිටියා. එහි එක් විනිසුරු වරයෙක් වන ගරු යසන්ත කෝදාගොඩ මහතා ඉවත්වීමට හේතුව එහිදී පැවසුවොත් එයින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට ලොකු කැළලක් ඇතිවිය හැකි බව පවසා සිටියා.

ඒ වගේම තවත් විනිසුරුවරයෙක් වන ගරු ඒ.එච්.එම්. නවාස් මහතා ඉවත් වීමට හේතුව වුණේ ගරු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥවරයා සහ එතුමාගේ කනිෂ්ඨ නීතිඥවරයෙක් එම නඩුවට ප්‍රථම දුරකථනයෙන් අමතා එම නඩුවට පෙනී සිටින්න කියලත් තවත් වරෙක පෙනී සිටින්න එපා කියලත් කියු නිසා බව අධිකරන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

ගරු. විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා දිනයේ දී මෙසේ පවසා සිටියා.

අධිකරණ අමාත්‍යය විජයදාස රාජපක්ෂ මැතිතුමා නාමිකව සඳහන් කළ ඒ.එච්.එම් නවාස් විනිසුරුතුමාට එතුමා සාප කළේ නැති බවත්, එතුමාගේ කතාවේදී කිසිම විනිසුරුවරයෙක්ගේ නමක් සඳහන් කළේ නැති බවත්ය.

තවද, අදහස් කළ කාරණය මෙසේ පවසා සිටියා.

“මම පොදුවේ කිව්වේ මේ රටේ යම්කිසි අසාධාරණයක් වුන අවස්ථාවකදී, දෙවියන් වහන්සේට පහලින් ඒ සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට ඉන්නෙ මේ විනිසුරුවරුන්. යම් විනිසුරුවරයෙක් යම්කිසි බලපෑමකට යට වෙලා, තීන්දු දෙනවා නම් ඒ විනිසුරුවරුන් හරිද වැරදිද කියල විවේචනය කරන්න අපට කිසිම අයිතියක් නෑ. ඔවුන් තමන්ගේ හෘදසාක්ශියටයි, දෙවියන් වහන්සේටයි පමණයි බය වෙන්න ඕනේ. එහෙනම් ඔවුන් වැරැද්දක් කරානම් ඔවුන්ට එම වැරැද්දට දඬුවම ලැබෙන්නෙත් දෙවියන්ගෙන් ම පමණයි.

මම මගේ කතාව මගින් අදහස් කලේ මේ රටේ කුමන ජාතියක විනිසුරුවරයෙක් ආවත්, ඔවුන්ට එම නඩු තීන්දු ලබාදීමට, එම විනිසුරුවරයාගේ ජාතිය හෝ, ආගම බාධාවක් වෙන්න බැහැ කියන එකයි.”

තව දුරටත් පවසා සිටියේ,

මේ රටේ විධායක ජනාධිපතිවරු හතර දෙනෙක්ට විරුද්ධව නිර්භීතව තීන්දු ලබා දී මහජනතාවගේ ගරුත්වය දිනාගත් විනිසුරුවරුන් සිටින බවත්, මේ රටේ කොන්ද පණ ඇති කෙලින් තීරණ ගන්න විනිසුරුවරුන්ට එතුමා ආචාර කරන බවයි.

අධිකරණයේ ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පවසා සිටියේ,

ඒ වගේම අපි දන්නවා 2015 ඡන්දය අවසාන වුණායින් පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අරලිය ගහ මන්දිරයට යනකොට අගවිනිසුරුවරයා එතැන සිට එලියට ආපු එක ගැන.
මේ වගේ ක්‍රියා නිසා විනිසුරුවරුන්ගේ හැසිරීම පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රේෂ්ඨ විනිසුරුවරුන් ඉන්න රටක කිහිපදෙනෙක්ගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා මේ රටේ අධිකරණයට විශාල හානියක් සිදුවෙන්න ඉඩ තිබෙනවා.

මම මේ කතාව කරන්න කරුණු සොයා බලද්දී මට දැනගන්න ලැබුණා අපේ රටේ නීතිඥවරුන්ට ආචාරධර්ම ක්‍රියාපටිපාටියක් Professional Ethics රීති මාලාවක් තිබුනට අපේ රටේ විනිසුරුවරුන්ට එවැනි කිසිම ක්‍රියාපටිපාටියක් නැහැ කියල.

ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි හැම රටකම මේ වගේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් විවේචන ලක්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචනයක් ඇති වූ අවස්ථාවක එහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම මේ නොවැම්බර් මාසයේදී code of conduct එකක් ඇති කරගෙන තියෙනවා.

මම හිතනවා අපේ රටටත් මෙවැනි code of conduct එකක් ඇතිකර ගත්තොත් හොඳයි කියලා. ඒ නිසා, මේ පිළිබඳව සොයා බලලා, එවැනි code of conduct එකක් අපේ අධිකරණ පද්ධතියටත් ඇතුලත් කරන ලෙස ගරු ඇමතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.” කියමින් මේ රටට නව යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා