Spread the love


නිමල් රාජපක්ෂ-


මෙරට නිෂ්පාදිත තේවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා න B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 සිට අනිවාර්යය කරන බවත් ,එම තීරණය උල්ලංඝනය කළහොත් ඔවුන්ගේ බලපත් අහෝසි කරන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

B-60 ප්‍රතිපත්තිය යනු තේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දළුවලින් අඩු තරමින් සියයට 60ක්වත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්තවිය යුතුය යන්නයි.

තේ කර්මාන්තයට අයත් සියලු අංශවල නියෝජිතයින් සමග අමාත්‍යවරයා ශ්‍රී ලංකා තේවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව ඊයේ සාකච්ඡා කළේය. මෙම සාකච්ඡාවට තේ සංවර්ධන අධිකාරිය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණායතනය, තේ සැපයුම්කරුවන්ගේ සංගමය හා තේ කර්මාන්තකරුවන්ගේ සංගමය ඇතුළු සියලු අංශ පැමිණියේය.

ශ්‍රී ලංකා තේ සන්නාමය මීට දශක කිහිපයකට පෙර ලෝකයම පීළිගත් සන්නාමයක් වූ අතර ඇතැම් ව්‍යාපාරිකයින්ගේ ක්‍රියාකලාප නිසා ශ්‍රීලංකා තේ පිළිබඳ සන්නාමය බරපතල අර්බුදයකට මුහුණ දුන්නේය.

මේ නිසා ශ්‍රී ලංකා තේ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළෙහි ඇති උසස් පිළිගැනීම නැවත ඇති කරලීම සඳහා තේ දළුවල උසස් ප්‍රමිතිය සහතික කිරීමට B-60 ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා ඉදිරියේ දී මෙරට තේ නිෂ්පාදන කර්මාන්තයට හිමි වෙළෙද පළ ස්ථාපිත කිරීමට නම් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව තේ කර්මාන්ත ශාලාවලට සපයන තේ දළුවල ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම සදහා B-60 ව්‍යාපෘතිය ජනවාරි මස 01 දින සිට අනිවාර්ය කිරීමේ පියවරට තේ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්වවල එකඟතාවය පළ කරනු ලැබීය.

තේ දළු නෙලීමේ දී දැනට තේ දළුවලට අමතරව මෝරණ තේ දළුත් මිශ්‍රවීම වළක්වා ගනිමින් මෙම B-60 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් යම් කර්මාන්ත ශාලාවක් මෙම තීරණය උල්ලංඝනය කළහොත් ඔවුන්ගේ බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්මකිර්ති, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, ලංකා තේ මණ්ඩලය හා තේ සංවර්ධන අධිකාරියේ නිලධාරිහු ද සහභාගි වි සිටියහ.