Spread the love

දේශගුණික විපර්යාස අවම කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයන් කෝප් 28 සමුළුවේදී ලෝක නායකයින්ගේ ප්‍රසාදයට ලක්ව තිබේ.

දේශගුණික යුක්ති සංසදයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහාය ද හිමිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍රයි.

දේශගුණික විපර්යාස පිළිබද ගැටලු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශගුණික යුක්ති සංසදය එළි දැක්වීම ඊයේ (02) සිදු කරනු ලැබිණි.

ජනාධිපතිවරයා සමඟ එම අවස්ථාවට මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් සහ උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ඇස්න් ජෙන් රූත් යන මහත්ම මහත්මීන් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දේශගුණික යුක්ති සංසදය, දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා වූ සාමූහික ප්‍රයත්නයට සියලු පාර්ශ්වයන් ඒකාරාශී කර ගනිමින් ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලීව කැපවීම ආරම්භක පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

මෙය රාජ්‍යයන්ට පමණක් තනිව කළ හැකි කාර්යයක් නොවන අතර මේ වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වය ද අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩසන් මහත්මිය දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටනට අවශ්‍ය ක්‍රියාමාර්ග සහ වර්තමාන ප්‍රයත්නයන් අතර පවතින විෂමතාව අවධාරණය කර තිබේ.

දේශගුණික විපර්යාස පිළිබද ගැටලු අවම කර ගැනීමට සියලු රටවල් ඒකරාශී කිරීමේ ප්‍රබල බලවේගයක් ලෙස මෙම දේශගුණික යුක්ති සංසදය කටයුතු කරනු ඇති බව පැවසූ විධායක අධ්‍යක්ෂකවරිය එම සංසදය සාදරයෙන් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.