Spread the love

ශ්‍රී ලංකාවේ දොලොස්වන වෛද්‍ය පීඨය බදුල්ල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කොට ඇත. ‍ මෙම වෛද්‍ය පීඨයට ඇතුලත් වන වෛද්‍ය සිසුන්ගේ උපාධි පාඨමාලා කටයුතු සඳහා මේ වන විට මහාචාර්ය ඒකකයක් නොමැති වූ බැවින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි වත්මන් රජය විසින් මහාචාර්ය ඒකකයක් ඉදිකිරීමට තීරණය කරන ලදි.
ඒ අනුව රාජ්‍ය අරමුදලින් රුපියල් බිලියන දෙකයි දශම දෙකයි හයක ( 2.26) මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් මහල් 10 කින් සමන්විතව ඉදිවන මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදි. මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සමගාමීව බදුල්ල පලාත්බද මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමද සිදුවිය. මෙම ඉදිකිරීම් කටයුතු 2025 වසරේ දෙසැම්බර් මස වන විට නිම කිරීමට නියමිතව ඇත.කායික වෛද්‍ය ,ශල්‍ය වෛද්‍ය ලමාරෝග වෛද්‍ය , ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය විශේෂඥ අංශ මහාචාර්ය ඒකකයේ ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා කටයුතු සඳහා ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් අනුයුක්ත කිරීමට රජය මේ වන විට සැලසුම් කර ඇත.
මෙම වෛද්‍ය පීඨයට පලමු වරට වෛද්‍ය සිසුන් 50 දෙනෙකු 2024 ලබන වසරේ ‍පෙබරවාරි මස බඳවා ගැනෙන අතර ඔවුන්ගේ 04 වන වසරේ අධ්‍යාපනික කටයුතු අවසන් කර මෙම නව මහාචාර්ය ඒකකය තුල අවසන් වසර අධ්‍යාපනික හා පුහුණු කටයුතු ආරම්භ කිරීමට හැකි වන බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වාසය පල කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඌව විශ්ව විද්‍යාලයේ පලමු කුලපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පත් කර ඇත.
මෙම ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව විශ්ව විද්‍යාලයේ කුලපති විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.