Spread the love


නිමල් රාජපක්ෂ-

ගොවින්ට හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කරයි.

වී වගාව සඳහා ගොවීන්ට ඉන්ධන නිකුත් කිරීම ගුනකොළපැලැස්ස පැවැති වැඩ සටහනකදි ඊයේ (19) සිට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ.

පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වාර්තා වූ වළව කළාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගාහානි සිදුවූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමිවේ. පසුගිය යල කන්නයේ වී වගා කළ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත් වූ අතර එම ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ දී කුඹුරු අස්වැද්දීම සඳහා මෙම ඉන්දන සහනාධාරය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිනි.

චීන රජය විසින් පසුගිය මහ කන්නයේ වී වගා කිරීමට නොමිලයේ බෙදා දීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.9ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබිනි. එම ඩීසල් බෙදා දීමේ දී යම් කුඩා ප්‍රමාණයන් ඇතැම් ගොවි ජනතාව විසින් ලබා නොගත් අතර ඒ යටතේ ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරි විය.

එසේ ඉතිරි වූ ඩීසල් ලීටර් මිලියන 02 වගා හානි සිදු වූ ගොවි ජනතාවට හෙක්ටයාර් එකකට ලීටර් 40 බැගින් බෙදා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දෙනු ලැබීය.