Spread the love

අන්දමන් සහ නිකොබාර් දූපතට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය, ඊයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර,මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවැති බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කර අද උදෑසන වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

උතුරු අක්ෂාංශ 10 සහ 19 සහ නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 – 45 පමණ වන අතර විටින් විට පැයට කිලෝ මීටර් 50 – 60 දක්වා වැඩි විය හැකිය.

මෙම හේතුවෙන් ඉහත කී මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඉදිරි පැය 24 තුළ උතුරු අක්ෂාංශ 10 සහ 19 සහ නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශ තුළ යාත්‍රා නොකරන්නැයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙයි.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන්නැයි ද දැනුම් දෙයි.

මේ අතර උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ඌව සහ මධ්‍යම පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සදහන් කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.