Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පස්වරු 02.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇතිබව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පසුගිය 10 වැනි දා පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේ ය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි සදහන් දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත් කළ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් පසුගියදා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබේ.