Spread the love

කොළඹ නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට බන්ධනාගාර රැදවියෙකු විසින් ලබාදී ඇති පණිවිඩය කිසිදු සත්‍යතාවක් නැතැයි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

අදාළ ප්‍රකාශය කිසිදු සත්‍යතාවයක් නැති බවත් එය අදාළ සැකකරු අවධානය ගැනීමට කළ දෙයක් පමණක් බවත් හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙරට ක්‍රියාත්මක පාතාල කණ්ඩායම් ඉදිරි මාස හයක කාලය තුළ සම්පූර්ණයෙන්ම නතර කිරීමේ සැලසුමක් සකස් කර ඇති බවද හෙතෙම එහිදී කියා සිටියේය.

“අනුරාධපුරේ බන්ධනාගාරගත වෙලා ඉන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් උසාවියට අරගෙන එනකොට බස් රථයෙන් එළියට විසි කරලා තිබුණා කුඩා කොළ කැබැල්ලක්. එකේ තිබුණා යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කරන්න අපි සූදානමින් ඉන්නවා කියලා. එය ඔහුට අවධානය ගැනීමට කළ දෙයක්. එහි කිසිදු සත්‍යතාවයක් නැතැයි අනාවරණ වුණා”