Spread the love


නිමල් රාජපක්ෂ-

ගුණාත්මක බැවින් යුත් තේ පැළ ලබා නුදුන් තවාන් 20ක බලපත් අහෝසි කළ බව කෘෂිකර්ම හා වැවිළි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එයට සමගාමීව රුපියල් මිලියන 490ක සහානාධාර ලබා දීම මගින් තවත් තේ පැළ කිරීමේ තවාන් 200ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

කෘෂිකර්ම හා වැවිළි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්යෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ ගන්නොරුව සේවා අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විනි. ඊට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

වසරකට තේ පැළ මිලියන 20ක් බැගින් නිෂ්පාදනය කිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානයට පවරයි.

මෙරට තේ කර්මාන්තය තුළ ඇති තේ වගාවන් සඳහා අලුතින් වගා කිරීම, පාළු සිටුවීම ඇතුළු අවශ්‍යතා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන පැළ ප්‍රමාණය මිලියන 20කි. බොහෝ තේ වගා කරුවන් තේ පැළ තවාන් වලින් ලබා ගත්ත ද එම තවාන්වලින් ලබා ගන්නා තේ පැළවලින් ලැබෙන අස්වැන්න මෙන්ම වටපණු රෝගය බරපතල ලෙස පවතින බව කරුණු අනාවරණය වී ඇත.

ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නොලැබීම තේ වගාවන්හි අස්වැන්නට දැඩි බලපෑමක් එල්ල කරන අතරම තේ වගාවේ නෙමටෝඩා හෙවත් වටපණු රෝගය ඉහළ යාමට ද බලපායි .

මේ නිසා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානය මගින් සිදු කිරීමට ඊයේ (28) තීරණය කරනු ලැබීය.