Spread the love

නිමල් රාජපක්ෂ-

සම්මුඛ පරීක්ෂණයකට පමණක් සීමා වූ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම වහා ම කඩිනම් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කියයි.
ඒ අනුව අදාළ බඳවා ගැනීම් පිළිබඳ නිශ්චිත තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ලබා දෙන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ නිලධාරිනියන් සමග ඊයේ (27) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

2021 වසරේ ජනවාරි මස පළ කරන ලද ගැසට් නිවේදනයකට අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කර තිබේ. ඒ පවුල් සෞඛ්‍ය සේවය වෙනුවෙන් නව පත්වීම් 2500ක් ලබා දීම වෙනුවෙනි. එහෙත් ඉන් 1000ක පිරිසක් පමණක් මේ වන විට පුහුණු වීම් ලබන අතර සෙසු පිරිස තව දුරටත් රැකියා අපේක්ෂාවෙන් සිටින බවයි එහි දී අනාවරණ වූයේ. ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ පත්වීම් ලබා දීම අත්හිටු වීම හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සමත් වූ පිරිස දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ.

අමාත්‍යවරයා එහි දී කියා සිටියේ ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ සියලු වියදම් කළමනාකරණය කිරීමට රජයට සිදු ව ඇති බවයි. එහෙත් සෞඛ්‍ය වැනි අතිශ්‍ය වැදගත් ක්ෂේත්‍රයක බඳවා ගැනීම කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේ ය. ඒ අනුව ලෝක බැංකු බැංකු ආධාර වැඩසටහන ඒ සඳහා යොදා ගැනීමේ හැකියාව සහ එසේ නොමැති නම් ඒ සඳහා මුදල් ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් හෝ සකස් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රජයට ආදායම් ලබා දෙන දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවා පුරප්පාඩු පවතින අතර ඊටත් වඩා ප්‍රමුඛත්වයකින් සෞඛ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.