Spread the love

විශිෂ්ඨ ව්‍යවසායකයෙක් හා ව්‍යාපාරිකයෙක්ව සිටි, අභාවප්‍රාප්ත දේශමාන්‍ය ලලිත් කොතලාවලගේ දේහය භාර ගැනීමට ඔහුගේ බිරිය සිසිලියා කොතලාවල ප්‍රතික්ෂේප කර ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.
‍අනතුරුව දේහය සිසිලියා කොතලාවලගේ වැඩිමල් සොයුරිය වූ ෂෙරීන් විජේරත්න ප්‍රනාන්දු භාරගැනීමට කැමැත්ත පල කළ බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

ඒ අනුව ලලිත් කොතලාවලගේ දේහය ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන ෂෙරීන් විජයරත්න ප්‍රනාන්දු වෙත භාරදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය. එමෙන්ම මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කරන ලෙසය.

අවසාන කාලයේ දී සිසිලියා කොතලාවල සහ ලලිත් කොතලාවල වෙන්ව ජීවත් වූ බවත් ලලිත් කොතලාවල සේවකයින් කිහිප දෙනෙක් සමග බම්බලපිටිය නිවසක තනිව ජීවත් වූ බවත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය.

මරණයෙන් පසු සිය සොයුරියගේ සැමියාගේ මරණය සැක සහිත බව බම්බලපිටිය පොලිසියට පැමිණිලක් කරමින් සිසිලියා කොතලාවලගේ වැඩිමල් සොයුරිය වූ ෂෙරීන් විජේරත්න ප්‍රනාන්දු (84) දන්වා සිටියාය.

ඒ පැමිණිල්ල අනුව බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝගය පරිදි ලලිත් කොතලාවල ගේ (84) මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (23 දා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්විනි.

ඔහුගේ මරණයට හේතුව ස්වභාවික හේතූන් සහිත තත්ත්වයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු විය.

ඔහු නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිදරව් වූ අතර ඔහු නියමිත ආකාරයට ඖෂධ ලබාගෙන ඇති ආකාරය ද තහවුරු වී තිබිණි.