Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව මෙරට ජනතාව කේන්ද්‍ර කරගත්, රෝගීන් මුල්කර ගත්, තොරතුරු හා දත්ත මත පදනම් වූ හා රෝගීන්ගේ මූල්‍ය අවධානම අඩු කරන ශක්ති සම්පන්න සෞඛ්‍ය සේවාවක් බිහි කිරිම සෑම කෙනෙකුගේම වගකීමක් බවත්, අභිනව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය.

වර්තමානය සෞඛ්‍ය සේවාවේ යම් යම් ගැටළු පිළිබදව සමාජයේ විශාල අවධානයක්, කථිකාවතක් ගොඩනැගී ඇති කාල වකවානුවක. වෘත්තකයින් බලාපොරොත්තු වන, සමාජය බලාපොරොත්තු වන වෙනස් කම් කිහිපයක් ඇති බවත්, අමාත්‍යවරයා ලෙස අදාල ව්‍යුහාත්මක හා පුද්ගල වෙනස්කම් කිරිමට තමා බැදී සිටින බවත්, එය කාලානුරූපිව තමා වෙත පැවරෙන වගකීමකත්.
එවැනි තීන්දු ගැනීමේ දී පුද්ගල තරාතිරම හෝ පෞද්ගලිකත්වය නොසළකන ලෙසත්, එය සෞඛ්‍ය සේවාවේ උන්නතිය, යහපැවැත්ම, මතුපරපුර සහ රට වෙනුවෙන් ගන්නා තීන්දුවක් බවත් අභිනව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද (24) උදෑසන යෙදුන සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරමිනි. එතුමා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දීම ඊයේ (23) සිදුවිය.
සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් කියා සිටියේ අද දින තමා උණුසුම් ලෙස පිළිගැනීම පිළිබදව සියළු දෙනාට ස්තූතිය පුද කරන බවත්, සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට ලද මෙම අවස්ථාව පිළිබදව සතුටට පත්වන බවත්ය.