Spread the love

ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට සහ ගාල්ල දිස්ත්‍රික්කයට ඊයේ (22) පස්වරුවේ සිට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගිංගඟේ ජලමට්ටම යළි ඉහළ යමින් ඇතිබව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසාංජලි මහත්මිය පැවසූවාය.

ගිංගඟේ ඉහළ ප්‍රදේශය වන තවලම ප්‍රදේශයෙන් ගගෙහි ජලමට්ටම ඉහළ යමින් පවතියි.

ඒ හේතුවෙන් පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතුනහොත් යළි සැලකිය යුතු ගංවතුර තත්වයක් ඇති වීමේ අවධානමක් පවතියි.

මේ හේතුවෙන් පවතින වැසි තත්ත්වය පිළිබඳ ගංගා පහළ ජලාධාර ප්‍රදේශ වල ජනතාව ඉදිරි පැය කිහිපයේ දැඩි අවදානයෙන් පසුවීම ඉතා වැදගත් බව  පැවසූවාය.

මේ අතර පවතින වැසි හේතුවෙන් බෙන්තර ගඟ ,පොල්අතුමෝදර ගඟ සහ මාදු ගඟෙහි ජලමට්ටම් ද සුළු වශයෙන් ඉහළ යමින් පවතියි.

ගංගා වල අතුරු ඇල මාර්ග පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක අතුරු මාර්ග කිහිපයක් ඊයේ රාත්‍රියේ සිට ජලයෙන් යටවී තිබේ.

ඇතැම් මාර්ග වල අඩි 02 ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවී පවතියි.