Spread the love

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනක් මෙහි දැක්වෙයි.

විදුලිබිල ගෙවීමට දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන්න!

ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 68 කි. මෙම වසරේදී දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනය කරන ලද අතර 2022 වසරේදී මසකට ඒකක 180 ක් පරිභෝජනය කරන ලද විදුලි පාරිභෝගිකයෙකුගෙන් විදුලි බිල සදහා අයකරනු ලැබුවේ රුපියල් 3,755.00 ක මුදලකි.

නමුත් විදුලි ඒකක 180 ක් පරිභෝජනය කරනු ලබන විදුලි පාරිභෝගිකයෙකුට මේවන විට ගෙවීමට සිදුවන මුදල ආසන්න වශයෙන් රුපියල් 10,500.00 කි. එම මුදල විශාල මුදලක් වන අතර එම විදුලි ගාස්තුව ගෙවීම සදහා පාරිභෝගිකයෙකුට ලබා දී ඇති කාලය දින 40 කි.

ශ්‍රී ලංකාවේ මුහුණදී ඇති ආර්ථික පරිහානිය නිසා පවුල් කුටුම්බියක ආදායම සැළකිය යුතු මුදලකින් වැඩි වී නැති අතර බොහෝ විට පවුලේ ආදායම තවත් අඩුවී ඇත. 2022 ජනවාරි මාසයේදී විදුලි බිල් නොගෙවූ විදුලි පාරිභෝගිකයින් 253,465 ක් සදහා රතු නිවේදන නිකුත් කර ඇත.ඒ අනුව රතු නිවේදන නිකුත් කිරීම 60% කින් වැඩි වී තිබේ. එමගින් පෙනී යන්නේ මෙරට විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල ‌ෙගවා ගැනීමට අපහසුතාවයක් ඇති බවයි.

විදුලි බිල කිහිපවතාවක් වැඩිකලද විදුලි බිල ගෙවීමට පාරිභෝගිකයාට ලබා දී ඇති කාලසීමාව වැඩි කිරීමට කිසිවිටකත් කටයුතු කර නැත. එම නිසා සමස්ත විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ නිවසක මාසික විදුලි බිල ගෙවීම සදහා දැනට ලබා දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන ලෙසත් විදුලි බිල කොටස් වශයෙන් ගෙවීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙසත්ය.