Spread the love

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීව නමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන ඩුබායි රාජ්‍යයේ සිටින නිරෝෂන් ශ්‍රී චමිල් අබේකොන් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන කුඩු රැජින නමැති කාන්තාවක් මාකොළ දකුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්.

සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 32 ක්, හෙරොයින් ග්‍රෑම් 506 ක්, මුදලින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් හා ජංගම දුරකථනයක් ද සොයාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.