Spread the love

විදුලි ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය යොමු කර ඇති ඉල්ලීමට අදාළව ඉදිරිපත් කර ඇති දත්ත වර්තමාන තත්ත්වය හා නොගැළපෙන බව මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ. 
ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඒ පිළිබඳව දන්වා තිබේ.

ඔක්තෝබර් 18 වැනිදාට පෙර මණ්ඩලය සතු නවතම දත්ත යොමුකරන ලෙස දැනුම් දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් 04 සහ 26 යන දිනවල යොමුකළ ඉල්ලීමේ සඳහන් දත්ත වර්තමානය හා නොගැළපෙන බව සදහන් කරමින්  මහජන උපයෝගීතා කොමිසම එම ලිපිය යොමුකර තිබේ.
සැප්තැම්බර් මාසයේ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 44.7 ක් ලෙස පුරෝකථනය කර තිබුණ ද සැබෑ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 41.01 ක් බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.
මේ අතර ජල විදුලි උත්පාදන ධාරිතාව ද, විදුලි බල මණ්ඩලය දක්වා ඇති ප්‍රමාණයට වඩා මේ වන විට ඉහළ ගොස් තිබේ.
ගල් අඟුරු භාවිතයෙන් විදුලි උත්පාදනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය කර ඇති පුරෝකථනය නොගැළපෙන බව එම කොමිෂන් සභාව සදහන් කරයි.

මේ තත්ත්වයන් තුළ ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සළකා බැලීම සඳහා නවතම දත්ත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබේ.