Spread the love

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට(17) සිට 20 වෙනිදා පමණ දක්වා බලාපොරොත්තු වන බවත් එම තත්ත්වය නිරිතදිග ප්‍රදේශය ඇතුළුව මුළු දිවයිනටම බලපානු ඇති බවත් කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය( උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයින ආශ්‍රිතව පිහිටීම මෙම තත්ත්වයට හේතු වන බවද මලිත් ප්‍රනාන්දු මහතා කීය. ඇතැම් ප්‍රදේශවල කෙටි කාලසීමාවක් තුළ වැඩි වර්ෂාපතනයන් මි.මී 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. අකුණු සහිත අවස්ථාවලදී ආරක්ෂිත පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසත් එම නිවේදනය මගින් ඉල්ලා සිටී. මුහුදු ප්‍රදේශයේ අකුණු පවතින අවස්ථාවේ තාවකාලික ඉතා තද සුළං ඇතිවීම සහ එම නිසා මුහුද රළු වීම පිළිබඳ ධීවර ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු යයිද මලිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(16) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව අද දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. බස්නාහිර, දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැක.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05ක් සහ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කර ඇති බැවින් ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. කොත්මලේ ජලාශය පිළිබඳවද විමසිලිමත්වන ලෙස එහි ප්‍රකාශකයකු සඳහන් කළේය. ඊයේ(15) පෙ.ව 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දැරණියගලට ලැබී තිබිණ. එය මි.මී 115.5කි. නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය අද(16) පෙරවරු දක්වා දීර්ඝ කර තිබේ. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ඊයේ(15) පෙරවරු 9.00 වන විට රත්නපුර, බදුල්ල, ගම්පහ, මාතර, ගාල්ල, නුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක පවුල් 2,373ක පුද්ගලයන් 8,974ක් බලපෑමට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරයි. මියයාම් 03කි. පූර්ණ නිවාස හානි 27කි.

අර්ධ නිවාස හානි 1,152කි. ආරක්ෂිත ස්ථාන 09ක පවුල් 238ක පුද්ගලයන් 845ක් සිටිති. අද(16) පස්වරු 4.00 දක්වා වලංගුවන පරිදි බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කර තිබේ. එමෙන්ම රත්නපුර, නුවරඑළිය, මාතර, මාතලේ, කෑගල්ල, මහනුවර, කළුතර, හම්බන්තොට, ගාල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ දෙවැනි සහ පළමු අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.