Spread the love

ජනවාරි මාසයේ සිදු කිරීමට තිබූ විදුලි ගාස්තු සංශෝධනය මේ ඔක්තෝබර් මාසයේ සිට ම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලීමක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලිඛිතව යොමු කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුකූලව මෙම අතිවිශේෂ ගාස්තු සංශෝධනය මෙලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මෙය මේ වසරේ තෙවන ගාස්තු සංශෝධනය ලෙස සැලකේ.

ඒ අනුව, ඉකුත් සමයේ දිවයින පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබා ගැනීමට වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම ඇතුළු වියදම් ආවරණය සඳහා සියයට 22ක විදුලි ගාස්තු සංශෝධනයක් හෝ විදුලි ඒකකයක් රුපියල් 8කින් ඉහළ දැමීම සඳහා මෙම අනුමැතිය ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉකුත් සතියේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් මෙලෙස ඉල්ලා සිටිනු ලැබ ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙකු ‘මව්බිම’ කළ විමසුමකදී පැවසීය.

මෙම යෝජනාවට අනුව විදුලි බල පනත ප්‍රකාරව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන ඔක්තෝබර් 18 වන දා මහජන අදහස් විමසීමට තීරණය කොට තිබේ.