Spread the love


නිමල් රාජපක්ෂ-

ලංකන් ගුවන් සේවාවට තිබෙන අයිතීන්ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන්ටත් මෙම ගුවන් ගමන් වාර සේවා පැවැත්වීමට අයිතිය ලබා දීමට තීරණය කල බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ගුවන් යානා වල ප්‍රමාදයන් නිසා ඇමරිකානු ඩොලර් මිලියන 06ක් පමණ සිදු වු පාඩුවු බැවින් සේවකයින් හට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කලේය.
නමුත් ගුවන් සේවාවේ ඵලදායිතාවය වැඩි කල හොත්, ඵලදායිතාවය මත පදනම් කර ගනිමින් යම් ගෙවීමක් සිදු කල හැකි බවද අමාත්‍යවරයා මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයින්ට අවධාරණය කලේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් 08ක් පමණ එකවර ප්‍රමාද වීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදු වු අපහසුතාවයන් පිලිබඳව කරුණු විමසීම සඳහා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාලන අධිකාරිය සහ සියළුම වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ අද පෙරවරුවේ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී විශේෂ සාකච්චාවකදිය .
මෙහිදී පසුගියදා සිදු වු ගුවන් ප්‍රමාදයන් පිලිබඳව ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයිනිගෙන් කරුණු විමසු විට ඔවුන් කියා සිටියේ ගුවන්යානා වල පැවති තාක්ෂණික දෝෂ මෙම ප්‍රමාදයන්ට හේතු වු බවයි.

නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවා පරිපාලක අධිකාරිය කියා සිටියේ යම් අකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අකුරට වැඩ කිරීම තුලින් මේ තත්වය උදා වූ බවයි.
දැනට ගුවන් මෙහෙයුම් සඳහා තිබෙන ගුවන් යානා 21 සඳහා ගුවන් නියමුවන් 260 දෙනෙකු පමණ සිටින බවත්, ඒ අනුව එක් ගුවන් යානයක් සඳහා ගුවන් නියමුවන් 12 දෙනෙකු සේවයේ නියුතු බවත් එය ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකූල බවයි. එමෙන්ම ජාත්‍යන්තර නීතී රීතී වලට අනුව ගුවන් නියමුවෙකු මසකට පැය100ක කාලයක් පියාසර කල යුතුයි.
පසුගිය කාලය තුල ශ්‍රී ලංකන් ගුවන් නියමුවකු මසකට පියාසර කර ඇත්තේ පැය 60ක පමණ කාලයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම කාලය අවම වශයෙන් පැය 80ක් පමණවත් එක් ගුවන් නියමුවෙකු මසකට පියාසර කලේ නම් මෙවැනි ප්‍රශ්ණයක් උද්ගත නොවන බවයි.
එමෙන්ම වැටුප් හා දීමනා පිලිබඳව ගැටළුවක්ද මෙම වෘත්තීය සමිති තුල තිබෙන බව පැවසු අමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක්ද ඒ සඳහා පොලියක්ද, ගෙවිය යුතු බව පැවසීය.
නමුත් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස උසස් හා ගුණාත්මක ගුවන් සේවාවක් ලබා දීමට විශාල වගකීමක් තිබෙන බව පැවසු අමාත්‍යවරයා ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවාවට තිබෙන අයිතීන්ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන්ටත් මෙම ගුවන් ගමන් වාර සේවා පැවැත්වීමට අයිතිය ලබා දීමට තීරණය කල බව පැවසීය . ඒ අනුව අනෙකුත් ගුවන් සමාගම් සඳහා 5th Freedom Right (පස් වන නිදහස් අයිතිය ) ලබා දීමට සිදු වන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.