Spread the love

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීමෙන් අනතුරුව සියලුම දුම්රිය ගාස්තු වැඩිවීමක් සහ සියලුම වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමක් සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

දැනට රුපියල් විස්සක්ව පවතින අවම ගාස්තුවේ සිට සියලුම දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව හෝ ආසන්න ප්‍රතිශතයකින් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේදී දුම්රිය ප්‍රධානීන්, දුම්රිය වෘත්තිය සමිති හා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යාංශ බලධාරීන් යෝජනා කර ඇත.

එසේම වාර ප්‍රවේශපත්‍ර සහනයද අත්හිටුවීමෙන් විශාල ආදායමක් දුම්රිය අධිකාරියට ලබා ගැනීමට හැකි බවත් ඒ ආදායම මගින් දුම්රිය සේවකයින්ගේ වැටුප් ගෙවීමට කටයුතු කිරීමටත් මෙහිදී අවධාරණය කර ඇත.

දහනව දහසක පමණ දුම්රිය සේවකයන් පිරිසකට වැටුප් හා දීමනා ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු බව, මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබීමත් මත මේ කෙරෙහි අවධානය යොමුව ඇත.

එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන ගාස්තුද ඉහළ නැංවෙනු ඇති බවත් දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දේ.

දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව ගමන් වාර තුන්සිය හතළිහක් පමණ ධාවනය කරන අතර ඒ සඳහා වන දෛනික ආදායම රුපියල් කෝටි හතරකි. එසේම දෛනිකව ඉන්ධන වියදමද කෝටි හතරකි.

කෙසේ වෙතත් දුම්රිය අධිකාරියක් කිරීමේ රජයේ උත්සාහයත් සමග ඉන්දීය ප්‍රධාන පෙළේ සමාගම් නියෝජිතයන් දුම්රියේ ආයෝජන සඳහා කැමැත්ත පළ කර ඇතැයිද ඒ සඳහා සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ඉන්දීය මැදිරි හා එන්ජින් ගෙන්වීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.

පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය ප්‍රධාන පෙළේ වෙළෙඳ සමාගම් හිමිකරුවකුගේ ව්‍යාපාර අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියකුද මේ සම්බන්ධයෙන් නිල නොවන මට්ටමෙන් සාකච්ඡා කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර දුම්රිය, ඉඩම්, ගොඩනැගිලි ආදිය පුද්ගලික අංශයට බදු පදනම යටතේ ආයෝජන සඳහා විවෘත කර ඇති අතර ඒ සඳහා මෛ් වන විටත් අභිප්‍රායන් කැඳවා ඇත.