Spread the love

ආසියානූ ශූරයන් වීමේ බලාපොරොත්තුවෙන් චීනය බලා පිටත්ව ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 36.8 ක් ක්‍රීඩා අමාත්‍යාංශය වැය කරයි.

19 වන ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ හොන්ෂු නුවර දී හෙට (23) අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 96 දෙ‍නෙකු එක්වීමට නියමිතය. ඊට ක්‍රීඩකයන් 62ක් සහ ක්‍රීඩිකාවෝ 34 දෙනකු ඇතුළත්ව සිටිති. එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා ඉසව් 20ක් සඳහා තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා රග්බි, පිහිනුම්, බොක්සිං සහ චෙස් ක්‍රීඩාවන්ට අදාල ක්‍රීඩකයින් පිටත් වූ අතර රග්බි කණ්ඩායමට තරින්ද රත්වත්තේගේ නායකත්වයෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර, හෙෂාන් ජැන්සන්, චතුර සෙනෙවිරත්න ගැමුණු චේතිය, අදීෂ විරතුංග, රමේෂ් ප්‍රනාන්දු, දිනුප සෙනෙවිරත්න, අංජුල හෙට්ටිආරච්චි, දර්ශන දාබරේ, ආකාෂ් මධුශංක, ඇඩම් ගෞඩර් යන ක්‍රිඩකයින් ඇතුලත්ය.
රග්බි සංගමය ජාත්‍යන්තර තහනමකට ලක්ව තිබූවද ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡා වාර කිහිපයකින් පසු මෙවර ආසියානු තරගාවලිය සදහා තරග වැදීමට අවසරය ලබා දීම මෙහි සුවිශේෂීත්වයක් වේ. රග්බි සම්මේලනය ක්‍රියාකාරී නොවූ මෙම කාල පරාසය තුල ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ආසියානු ක්‍රීඩා උළෙල සදහා පිටත්ව යන කණ්ඩායම සදහා සියලුම පහසුකම් සළසා දෙන ලදි.
පිහිනුම් තරග සදහා මැතිව් අබේසිංහ, අකලංක පීරිස්, ගංගා සෙනෙවිරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ. බොක්සිං තරග සදහා රුක්මාල් ප්‍රසන්න ක්‍රීඩකයා ද, චෙස් ක්‍රීඩාව සදහා එල්.එම්.එස්.ටී. ද සිල්වා ක්‍රීඩකයාද සහභාගී වේ.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සදහා පිටත්ව යන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, කණ්ඩායම් කළමණාකරුවන්, වෛද්‍ය කණ්ඩායම සදහා ගුවන් ටිකට්පත්, ආහාර හා නවාතැන් පහසුකම් සදහා රුපියල් මිලියන 36.8 ක මුදලක් මේ වන විට අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වියදම් කර ඇත. මෙම මුදලින් ලක්ෂ 33 ක් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නියමිතය.

 

.