Spread the love

මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සියාම් නැමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු මිය ගොස් ඇත.

වෝර්ඩ් ප්ලේස් සියාම් නමින් කුප්‍රකට මෙම මත්කුඩු ජාවාරම්කරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 2003 වසරේ නොවැම්බර් 28 වැනිදා සිය බිරිය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කිලෝ 23යි ග්‍රෑම් 13ක් සමගිනි.

මැණික් ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටිමින් දේශපාලනඥයන්ද ඉතා කිට්ටුවෙන් ඇසුරු කරමින් සිටි මෙම මත්කුඩු ජාවාරම්කරුව මත්කුඩු සමඟ අත්අඩංගුවට ගනු ලබන්නේ ද ඔහුට අයත් වෝර්ඩ් පෙදෙසේ පිහිටි සුවිසල් නිවෙසේදීය.

මෙම මත්කුඩු ජාවාරම්කරුට සහ ඔහුගේ බිරිඳට මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ 2007 වසරේ දෙසැම්බර් 17 වැනිදාය. එම දඬුවමට එරෙහිව ඔහුත් බිරියත් අභියාචනාධිකරණයට අභියාචනයක් ද ඉදිරිපත් කරනු ලැබීය. අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නැවතත් තහවුරු කිරීමෙන් අනතුරුව ජනාධිපති පොදු සමාවකින් ද ඔවුන් දෙදෙනා නිදහස් වීමට ලොකු සටනක නිරත විය. එය අසාර්ථක වූයේ ඒ ගැන මාධ්‍ය විසින් එකල තොරතුරු වාර්තා කිරීමත් සමගිනි.

අනතුරුව ඔවුන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය. එහිදී සියාම්ට ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ නැවතත් තහවුරු කරමින් බිරියගේ අභියාචනය සලකා බැලීමට තීරණයකර තිබුණි.

සියාම් මිය යන්නේ එම ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ මරණ දඬුවම තහවුරුකර ටික දිනකට පසුවය. වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයකින් දීර්ඝ කාලයක් පීඩා විඳි සියාම් මියගොස් ඇතැයි පැවසෙන්නේ පසුගිය 14 වැනිදාය. පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව ඔහුගේ සිරුර නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක 15 වැනිදා මිහිදන් කර තිබේ.