Spread the love

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් සියදෙනෙකු මේ වන විට විදෙස් ගත වී ඇති අතර, තවත් සියදෙනෙකු විදෙස්ගත වීම සඳහා අවසර ඉල්ලා ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට විදුලිබල මණ්ඩලයේ සේවය කළ ‍ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් දෙදහස් පන්සිය දෙනකු ඉන් ඉවත් වී ඇත. මෙලෙස සේවකයන් විශාල පිරිසක් ඉවත්වීමට හේතුව ලෙස ඔවුන් පවසන්නේ රටෙහි පවතින ආර්ථික අර්බුදය සහ අධික බදු අයකර ගැනීමයි.

විදෙස්ගත වී සිටින ඉංජිනේරුවන් සහ විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඉංජිනේරුවන් විදුලිබල මණ්ඩලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වේ. මෙලෙස විදෙස්ගතවන ඉංජිනේරුවන්ට එම රටවලින් ඇමරිකානු ඩොලර් පන්දහසක පමණ වැටුපක් හිමිව ඇති අතර එය ලංකා මුදලින් රුපියල් ලක්ෂ දහසයක් පමණ වේ.

එමෙන්ම නොරෝච්චෝලේ විදුලි බලාගාරයට චීන ඉංජිනේරුවන් ගෙන්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වුවද එය ක්‍රියාත්මක නොකරන බව සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න පැවසීය. ඒ වෙනුවට දේශීය ඉංජිනේරුවන් දහනවදෙනකු අලුතින් බඳවා ගැනීමට මේවනවිටත් කටයුතු සූදානම් කර ඇත.

මේ අතර, විදුලිබල මණ්ඩලයට සාමාන්‍යාධිකාරිවරයකු පත්කරන විට වසර තුනක කාලයක්වත් එම තනතුරේ රැඳීසිටීමට හැකි අයකු පත්කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මණ්ඩලයට ලිපියක් මගින් දැනුම් දී තිබේ. වර්තමානයේ සිටින සාමාන්‍යාධිකාරිවරයා එළැඹෙන විසිවැනිදා විශ්‍රාම යාමට නියමිත බැවින් ඔහුට එම තනතුරේ රැඳී සිටීමට හැකිව ඇත්තේ මාස දහයක කාලයක් පමණක් වීම එයට හේතුව වී ඇත.

එලෙස පත්කළ නොහැකි නම් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මතය විමසන්නැයිද එම ලිපිය මගින් දන්වා ඇත. විදුලිබල මණ්ඩලයේ නොවන වෙනත් තැනැත්තෙකු එම තනතුරට පත්කිරීමට ආණ්ඩුව සූදානම් වන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.