Spread the love

නවක වදය මේ ජනාධිපතිවරයාගේ කාලය තුළම නැවැත්වීමේ අභිලාෂය සහිතව නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

ගතවූ මාස 12ක කාලය තුළ නවක වධ සිදුවීම් 36ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිසුන් 57දෙනෙකුගේ පන්ති තහනමට ලක්කර ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා ජාතියක් ලෙස විලි ලජ්ජාවට පත් විය යුතු නවකවද පිළිකාවේ උපරිමය සරසවිය තුළම රැඳී සිටිමින් සේවය කරන හිටපු උප කුලපතිවරයෙකුගේ නිවස කඩා පවුලේ අයට පහර දීමේ සිද්ධියෙන් ප්‍රකට වන බව පැහැදිලි කළේය.

එහිදී රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීවේය.

පසුගිය මාස 12 තුළ දී නවක වදය හෝ ඒ හා සමාන සිද්ධීන් 36ක් වාර්තා වෙල තියනවා. නවක වදය හෝ වෙනත් මෙවැනි වූ කාරණාවලට සම්බන්ධව පන්ති තහනමට ලක් වී ඉන්නවා මේ වෙනකොට 57 දෙනෙක්. මාස 08 ක පමණ කාලයක් තිස්සේ අපි කතා කර සමාජ ව්‍යුහාත්මක දේශපාලනික කළමනාකරණ යන කොණ කීපයකින් බලා නවකවද විරෝධී ජාතික කමිටුවක් පිහිටෙව්වා.

රජයට පුලුවන් නීති සම්පාදනය කරන්න. රජයට පුලුවන් තියන සියලු සම්පත් පාවිච්චි කර ව්‍යුහාත්මක ආයතන පිහිටුවන්න. නමුත් මෙහි වගකීම අවසාන වශයෙන් තිබෙන්නේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් සහ විශේෂයෙන් උපකුලපති තුමාට.

නමුත් අපි දන්නවා මේ පිළිකාව වර්ධනය වි තිබෙන ප්‍රමාණය කොයිතරම් ද කියනවා නම් මේ වසරේ මුල හරියේ විශ්වවිද්‍යාලය තුළම සේවය කරන කලින් හිටපු උප කුලපතිවරයෙකුගේ ගේ කඩලා එතුමාට සහ එතුමාගේ පවුලේ අයට පහර දුන්නා.

දවල් ආහාරය ගන්න තවත් පීඨයකින් වෙනත් පීඨයකට අයිති ආපන ශාලාවකට පැමිණි ගැහැණු දරුවන් තුන් දෙනෙකුට පහර දීම් කළා.

අපි ජාතියක් ලෙස ලජ්ජා විය යුතුයි. බුද්ධිමය සමූහයක් විදිහට අපි ලජ්ජා විය යුතුයි.

ප්‍රචණ්ඩත්වය තමන්ගේ මූලධර්මය හැටියටත්, තමන්ගේ මතවාදය හැටියටත් පිළිගත්ත දේශපාලන පක්ෂ සහ ක්‍රියාධරයන් මේ නවක වදය දිගටම කරන බව දැනට ඕනෑවට වඩා සාක්ෂි තියනවා.