Spread the love


ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් යෝජනා 13 ක් ජනාධිපතිතුමා වෙත භාරදුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසයි.
ඒ අනුව මෙවර අයවැය මගින් ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපත්ති හදුන්වා දෙනු ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි.
මෙරට ජනගහනයෙන් 20% ක පමණ පිරිසක් යැපෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙනි. අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කරන්නේ යම්කිසි ලෙසකින් ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුනහොත් රටේ මුළු ජනගහනයෙන් 1/5 කගේ ජන ජීවිතය අකර්මන්‍ය වන බවයි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේවන විට මෙරට ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව පැවසූ ලේකම්වරයා, ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය මූල්‍යමය සහ මූල්‍යමය නොවන විසදුම් ලබා දීමට රජය කඩිනමින් කටයුතු කරන බවයි.
කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමේ කළුතර දිස්ත්‍රික් උපදේශන සේවා ජංගම වැඩසටහනට එක්වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය. කළුතර, දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විණ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ ජාතික ඉදිකිරීම් සංගමය එක්ව මෙම උපදේශන සේවාව සංවිධානය කරනු ලබයි.