Spread the love

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (03) පරවරු 09.30 සිට හෙට පෙරවරු 09.30 තෙක් එම නිවේදනය වලංගු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන්නැයි දැනුම් දී තිබේ.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මීට අමතරව පුත්තලම සිය කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි විය හැකි බව ද සඳහන්ය.

එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු වන බව බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික් සඳහායි.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ අවදානයෙන් සිටින්නැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීම් කර ඇත.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, පාලින්දනුවර, ඉංගිරිය සහ වලල්ලාවිට ප්‍රදේශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රදේශවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කිරිඇල්ල සහ අයගම ප්‍රදේශවලටත් මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීමේ මට්ටම 1 නිවේදන නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.