Spread the love

පොලිස් වෙස් ගත් කොල්ල කරුවන් මිල්ලනිය, කහතුඩුව, අඟුරුවාතොට, පාදුක්ක, කොස්ගම, ඉංගිරිය, කිරිඳිවැල සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල දේපොළ සොරකම් කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකු පොකුණුවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ..

පොලීසියට ලද පැමිණිලිවලට අනුව මෙහි ප්‍රධාන සැකකරු හොරණ පොකුණුවිට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ පසුගිය 18 වනදා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

ප්‍රධාන සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රැඳවුම් නියෝග යටතේ තබා ගැනීමට නියෝග වී තිබේ.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 09 දෙනාගෙන් එක් අයෙකු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව කොල්ලකන ලද ත්‍රීරෝද රථ 02ක්, යතුරුපැදි 06ක්, රත්‍රන් ගුලි 03ක්, කඩු 02ක්, මන්නා පිහියක් සහ ‘පොලිස්’ ලෙස සටහන් කරන ලද ටී ෂර්ට් සහ ජැකට් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.