කොස්සක් කැඩෙන තුරු ලේලිය විසින් නැන්දම්මාට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ එකම නිවසක පදිංචි නැන්දම්මා හා ලේලිය අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත. පහරදීමෙන් නැන්දම්මාගේ දකුණු අතෙහි අස්ථි බරපතළ ලෙස බිඳීමකට ලක්ව තිබෙන බවත් පහරදීමට යොදාගත් නිවසේ මුළුතැන්ගෙයි තිබූ කොස්ස කොටස් කීපයකට කැඩී වෙන්ව තිබූ බවත් වේයන්ගොඩ පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ වයෝවෘද්ධ කාන්තාවගේ පුත්‍රයා ජපන් රටේ රැකියාවක් කරන අතර සිය බිරිඳ දරු දෙදෙනා සහ ඔහුගේ මව සමග එකම නිවසේ පදිංචිව සිටින බවත් පොලිසිය පවසයි. පහරකෑමෙන් අස්ථි බිඳීමට ලක්වූ නැන්දම්මා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබීමෙන් පසුව පිටව ගොස් ඇත.
පහරදීම සම්බන්ධව නැන්දම්මා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ලේලිය අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අසංක රංගන මහතා විසින් පැමිණිල්ල විභාග කෙරිණ. මින් ඉදිරියට තමන් ගැටුම් ඇතිකර නොගන්නා බවටත්, සාමකාමීව ජීවත් වන බවටත් දෙදෙනා එහිදී පොරොන්දු වී ඇති අතර ලේලිය විසින් පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපිට නැන්දම්මාට වැඳ සමාව ගැනීමට කටයුතු කර ඇත. දෙදෙනා සමාදාන වීම හේතුවෙන් මෙම සිද්ධිය ඉදිරියේදී සමථ මණ්ඩලයට යොමු කරන බව පොලිසිය පවසයි.