පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් ඔයට පෙරළී අනතුරට ලක්වූ බස් රථයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බව වාර්තා වේ.
ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, එසේ වුවත් පළාත් අධිකාරියකින් යම් බලපත්‍රයක් ලබා දී ඇත්දැයි මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අවිධිමත්ව ධාවනය වන බස්රථ සඳහා විශාල දඩ මුදලක් නියම කිරීම සඳහා මේ වනවිට නීති සකස් කරමින් සිටින බවය.
ඒ අනුව ඉදිරියේ දී නීති තද කරන බවත් ඊයේ රාත්‍රීයේ අනතුරට පත්වූ බස්රථයට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ශෂී වෙල්ගම මහතා තවදුරටත් පැවසීය.
“අපිට තොරතුරු ලැබුණාහම ජංගම පරීක්ෂණ කණ්ඩායම් යොදවලා පරීක්ෂා කරනවා. මෙම කණ්ඩායම් යෙදෙන දවස්වලට සමහර වෙලාවට මෙම බස්රථ ධාවනය කරන්නෙත් නෑ. එවැනි බස් ගැන තොරතුරු ලබාගෙන ඒවා උසාවියට ඉදිරිපත් කරලා දඬුවම් දුන්න අවස්ථාත් තියෙනවා. ඊට අමතරව තමා මෙයාලා මේ කිසිම අවසරයක් නැතුව ධාවනය කරලා තියෙන්නේ.”
පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
කදුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වු මෙම බස් රථය කොටලීය ඔයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඔයට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබුවන් 41දෙනා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.