Spread the love

රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසයි.

දැනට දින කිහිපයකට පෙර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

එම මෙහෙයුම දින 03ක් පුරා අඛණ්ඩය ක්‍රියාත්මක කර තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මනුෂ්‍ය ඝාතකයින්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම දියත්කර තිබූ බවද පොලීසිය පවසයි.

මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 23,168 දෙනෙකු සහභාගීවී තිබේ. ඊට ත්‍රිවිධ හමුදා නිලධාරීන් 531කගේ සහාය ද ලැබී ඇත.

රාත්‍රි කාලයේ, දහවල් කාලයේ සහ උදෑසන කාලයේදීත් වරින්වර මෙම මෙහෙයුම දියත්කර තිබුණි.

මෙම මෙහෙයුම සඳහා පොලිස් මාර්ග බාධක 2,618ක් යොදා තිබූ අතර පරීක්ෂා කිරීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 622 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වරෙන්තුකරුවන් 1,662ක්, සැකපිට පුද්ගලයින් 1,516ක්, බීමත් රියදුරන් 732ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් 1,157ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 5,689කි.

මෙම මෙහෙයුමේදී රථවාහන වැරදි සම්බන්ධව නඩු 7,677ක් ලබාගෙන ඇති බවද පොලීසිය පැවසීය.

ඒ අනුව ඉදිරියේදී ද දිවයින පුරා මේ ආකාරයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.