Spread the love

ලබන ජුලි මස 01 වනදා සිට බලාත්මක වන නව විදුලි ගාස්තු ජුනි මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කළේ, ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කරඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැනගැනීම පිණිස ජුනි මස 01 වනදා ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුර අදහස් පළකරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව ගාස්තු සංශෝධනයකදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනාවලට ඇහුම්කන් දිය යුතුයි. ඒ අනුව දැනට ලංවිම ඉදිරිපත් කර ඇති සියයට 3ක ගාස්තු අඩුකිරීමේ යෝජනාව හා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන විකල්ප යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් අදහස් හා යෝජනා කැඳවනවා. කොමිෂන් සභාවේ ගාස්තු යෝජනාව ජුනි 01 වනදා ප්‍රකාශයට පත් කරනවා. එතැන් සිට ජුනි 20 වනදා දක්වා මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කළ හැකියි.”

“ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමටද අවස්ථාව හිමි වනවා. සියලු පාර්ශ්වයන්ට අපි ආරාධනා කරනවා මෙම ගාස්තු සැකසීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්න කියලා. මන්ද බොහෝ දෙනා ඉදිරිපත් කරන සාධනීය යෝජනා අවසන් ගාස්තු ක්‍රමයට ඇතුළත් කළ හැකි නිසා.”

මීට පෙර ආසන්නව සිදුවු ගාස්තු ඉහළ දැමීම නිසා අඩු පරිභෝජන කාණ්ඩ දැඩි අපහසුතාවට පත්වී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

“පසුගිය පෙබරවාරියේ ක්‍රියාත්මක කළ ගාස්තු ඉහළ දැමීමේදී ඒකක 90ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන දුප්පත් පාරිභෝගිකයින්ට අසාධාරණ ලෙස ගාස්තු ඉහළ දැම්මා. සාධාරණ පිරිවැය අයකිරීමේ පදනම සහ දරාගැනීමේ හැකියාව, සහනාධාර ලැබිය යුත්තන්ට සහනාධාර දිය යුතු බවට වු පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මේ කාණ්ඩවලට සියයට 150 සිට සියයට 250කින් ගාස්තු ඉහළ දැම්මා. ආසන්නයේ සිදුවු ගාස්තු සංශෝධන දෙකම නිසා ඒකක 30ට වඩා අඩු පරිභෝජනයක් ඇති කාණ්ඩවලට සියයට 1200කින් ගාස්තු ඉහළ ගියා.”

“පසුගිය අගෝස්තුවට පෙර රුපියල් 5කට ගත්ත ඒකකයක් සඳහා ඔවුන්ට රුපියල් 66ක් ගෙවන්න සිදුවුණා. රජයේම සමීක්ෂණ අනුව අන්ත දිළිදු තත්ත්වයට පත්වී ඇති පවුල් සංඛ්‍යාව මිලියන 3යි. මේ පිරිස තමයි මාසෙකට විදුලි ඒකක 0ත් 60ත් අතර පාවිච්චි කළේ. විදුලි පරිභෝජනය පිළිබඳ නව දත්ත අනුව පසුගිය පෙබරවාරි වන විට මාසෙකට ඒකක එකක්වත් භාවිත නොකරන විදුලි පාරිභෝගික පිරිස 436,000 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.”

“ඒකක 90ට වැඩියෙන් පාවිච්චි කළ පාරිභෝගිකයින්ගෙන් ලක්ෂ 6ක් පමණ ඒකක 60ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කාණ්ඩවලට වැටිලා. මේ දත්තවලින් පෙන්වන්නෙ පසුගිය විදුලි ගාස්තු වැඩිකිරීම නිසා බලශක්ති දරිද්‍රතාවය ඉහළ ගිය බව. මේ තත්ත්වය වහාම නිවැරදි කළ යුතුයි.”

“පසුගිය පෙබරවාරි මාසයේදී ක්‍රියාත්මක කළ පදනම් විරහිත ගාස්තු සංශෝධනයෙන් අසාධාරණයට ලක්වු ගෘහස්ත අංශයේ ඒකක 120ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට, ආගමික ස්ථාන සහ සංචාරක හෝටල්වලට මෙවර ගාස්තු සංශෝධනයේදී සාධාරණයක් ඉටු විය යුතුයි.”

“ගෘහස්ත අංශයේ ලක්ෂ 50කට ආසන්න පාරිභෝගික සංඛ්‍යාවකට පසුගිය ගාස්තු ඉහළ දැමීම දරාගන්න නොහැකි වුණා. අපි මුලින් යෝජනා කරල තිබු සියයට 35ක ගාස්තු ඉහල දැමීම වෙනුවට සියයට 66කින් ගාස්තු ඉහළ දැමීම නිසයි ඒ තත්ත්වය උදා වුණේ. ඉදිරි ගාස්තු සංශෝධනයේදී මේ පාරිභෝගිකයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා අපි පියවර ගන්නවා. ඒ වගේම ආගමික ස්ථානවලටත් දරාගත හැකි ආකාරයට ගාස්තු අඩු කළ යුතුයි. රටට විදේශ විනිමය උත්පාදනය කරන අංශ කෙරෙහි ද අවධානය යොමු කරනවා. සංචාරක කර්මාන්තය, අපනයන කර්මාන්ත ආදිය තිරසර ලෙස පවත්වාගෙන යාමට නම් බලශක්ති පිරිවැය හැකි තරම් අඩු කළ යුතුයි.”