Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තයේ (ECT) අදියර II ක හි ඉදිකිරීම් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ දී ආරම්භ කෙරිණ.
නැගෙනහිර පර්යන්තය I අදියර යටතේ මීටර් 600ක් ඉදිකොට ඇති අතර එහි II වන අදියර යටතේ මීටර් 720 ක් ඉදිකිරීමට නියමිතය. එවිට සමස්ථ පර්යන්තයේ දිග මීටර් 1320 ක් වන අතර පර්යන්තයෙහි ගැඹුර පළමු මීටර් 700 දී මීටර් 18ක් වන අතර ඉන් පසුව මීටර් 20ක් වනු ඇත. පර්යන්තය ඉදිවූ පසුව එහි භූමිය හෙක්ටයාර් 57ක් වේ.

පර්යන්තය ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියක් මගින් (Automation) ක්‍රියාත්මක කිරීමට නියමිත ය. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ආයෝජන වටිනාකම ඇ.ඩො.මි. 230ක් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය තම අරමුදල් යොදවන අතර පර්යන්තය ඉදිකිරීමෙන් පසු එහි බහලු මෙහෙයුම් ධාරිතාව මි. 3.0 වනු ඇත. අද දින පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කරමින් පර්යන්තයේ පැති බැම්ම (Que wall) ඉදිකිරීම සඳහා පළමු කොන්ක්‍රිට් වාරකය (Concrete Block) ස්ථාන ගත කිරීම සිදු විය.
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදි අදහස් දක්වමින්,
නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු වල දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කරමින් මුහුද යට ඉදි කෙරෙන ගල් වැටියේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව මේ වසර අවසන් වන විට නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් අවසන් කොට වෙළඳ නාවික මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කිරීමට බලාපොරොත්තු වන බවයි. විශේෂයෙන් මෙම නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට සහ රජයේ අයිතියට තබා ගැනීම සඳහා වෘත්තීය සමිති සියළු දෙනාම සටනක් කල බව අමතක කල යුතු නැති බවත්, එය රටේ ජනතාවගේ මෙන්ම වරාය වෘත්තිය සමිති වල සේවක මහත්මා මහත්මීන්ගේ උත්සහයේ ප්‍රතිඵලයක් බව අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩි, යන මහත්වරුන් ඇතුලු අමාත්‍යංශයේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.