Spread the love

හැටන් කොටගල පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභීන් අතර මේ දිනවල වෛරස් උණ රෝගයක් පැතිර යන බවට වාර්තා වේ.

එහි සිටි අභ්‍යාසලාභීන් 92දෙනෙකු පමණ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ රෝග ලක්ෂණ සහිතව තම රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවාය.

ඉන් වැඩි පිරිසක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් ගුරු අභ්‍යාසලාභින් 10දෙනෙකු තම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරිය කියාසිටියාය.

ශ්‍රී පාද විද්‍යා පිඨයේ පැතිර යන වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

අප මේ සම්බන්ධයෙන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන් මහතාගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, ශ්‍රී පාද විද්‍යා පිඨයේ පැතිර යන වෛරසය සම්බන්ධයෙන් අද (22)දින තමා එම ස්ථානයට ගොස් පරීක්ෂණයක් සිදුකළ බවය.

ඒ අනුව කොටගල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලැබු ගුරු අභ්‍යාසලාභින් කිහිප දෙනෙකුගෙන් රුධිර සාම්පල් ලබාගත් බවත්, ප්‍රතිකාර ලබාගත් ගුරු අභ්‍යාසලාභින්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් සුදර්ශන් මහතා පැවසීය.