Spread the love


නිමල් රාජපක්ෂ-

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අනුමැතිය සහිතව ඔවුන් නිර්දේශ කරන ආහාර වට්ටෝරුව ලබා දීමට කටයුතු කරන ලෙසත්, මේ තාක් යම් අඩුපාඩුවක් වී ඇත්නම් හෙට සිට එය නිවැරදි කර නිසි ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ආහාර ලබා දීමට කටයුතු කරන ලෙසත් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දෙයි .
ඇමතිවරයා මෙම තීරණය ගනු ලැබුවේ උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු හා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම සදහා වූ සාකච්ඡාවක් සිය අමාත්‍යංශයේ අද පැවැති අවස්ථාවේදිය. වැඩි දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා
ක්‍රීඩා සංගම් හා සම්මේලනවල කාරයභාරයන් නිසි ලෙස ඉටු නොවන අවස්ථාවල දී ක්‍රීඩකයින් ඉතා අසරණ තත්ත්වයට පත් වන බවත් , නිසි ලෙස ක්‍රීඩා සංගම් හා සම්මේලන ක්‍රියා නොකරයිනම්, සාකච්ඡා සඳහා නොපැමිණෙන්නේනම් ලිඛිතව තුන් වතාවක් දැනුම් දී ඔවුන් තහනම් කිරීමට කටයුතු කරන බවත් පැවසුවේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘‘මේ රටේ සෑම ග්‍රාම සේවා වසමකම ජීවත් වන සෑම දරුවෙකුටම තමන් කැමති ක්‍රීඩාවක් කිරීමේ මූලික අයිතිවාසිකම ලබා දෙන්න අපි බැදී සිටිනවා. ඒ අයිතිවාසිකම ලබා දීම තමයි අපි ක්‍රීඩා සංගම්වලට යම් යම් නියෝග නිකුත් කළේ.

මේ වෙලාවේ අපි ආසියානු රග්බි සම්මේලනයේ තහනම ඉවත් කර ගන්න කටයුතු සිදු කරගෙන යනවා. මම එන්න කලින් ශ්‍රී ලංකා රග්බි සංගමය තහනමට ලක් වෙලා තිබුණේ. අධිකරණයෙන් තීන්දුවක් දීලා තිබ්බේ තහනම් කරපු ක්‍රීඩා සංගම් දෙකක් නිළවරණය සඳහා සහභාගී කර නොගන්නා ලෙසයි. නමුත් එම සංගම් දෙක සහභාගී කරවාගෙන තමයි නිළවරණය තියලා තිබෙන්නේ. එය අධිකරණයට අපහාසයක්. වත්මන් රග්බි සභාපතිවරයා ආසියානු සම්මේලනයෙන් තහනම් කර තිබෙනවා. ඒ තහනමත් ඒක්ක අපි සංගමයට දැනුම්වත් කලා සභාපතිවරයා ඉවත් කරන ලෙස. නමුත් එය අදවනතුරු ක්‍රියාත්මක වෙලා නැහැ.
රග්බි තහනම ඉවත් කර ගන්න පැහැදිලි ලෙස අපි මැදිහත් වෙලා කටයුතු කරනවා. සුබ පිළිතුරක් වැඩිකල් නොගොස් අපිට ගන්න පුලුවන්. එතනදී අපි අධිකරණයේ පිහිට පතනවා. අපි මේ රටේ ක්‍රීඩාව හා රග්බි ක්‍රීඩකයා රැකගත යුතුයි. අපිට එක පුද්ගලයෙක් දෙදෙනෙක් ගැන බලන්න බැහැ. අද වෙලා තිබෙන්නේ රග්බි සම්මේලනයේ සභාපතිවරයා නිසා සමස්ථ රටම තහනමට ලක් වෙලා තිබෙනවා. රග්බි ක්‍රීඩකයින්ට ක්‍රීඩා කරන්න බැහැ. රග්බි සංගමයේ සභාපතිවරයා මා සමග පෞද්ගලික ප්‍රශ්ණයක් නැහැ. ඔහු හොද මනුස්සයෙක්. නමුත් රටේ නීතිය කාටත් පොදුයි. ක්‍රීඩාවේ අනාගතය උදෙසා විශේෂයෙන් රග්බි වෙනුවෙන් කැප වූ විශේෂ පිරිසක් සහ ක්‍රීඩකයින් සදහා සාධාරණයක් කරන්න අපිට තීන්දු ගන්න වෙනවා. මේ තීන්දු ගන්කොට සංගම් අධිකරණයට දුවනවා. මේ පිළිබදව ක්‍රීඩකයින් වශයෙන් ඔබ දැනගත යුතුයි.

මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා පසුගිය මාස හතරේ ලබා දීමට ඇති දිමනාව ලබා දෙන්න කටයුතු කරනවා. මින්පසු එය අඛණ්ඩව ලබා දෙන්න අපි කටයුතු කරනවා. පුහුණු කටයුතු අඛණ්ඩව කරගෙන යන්න. අඩුපාඩු තිබෙනවානම් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිතුමා දැනුම්වත් කරන්න. ඉදිරියේදී සංගමයේ නිළධාරීන් හා ක්‍රීඩකයින් සමග අපි සාකච්ඡා කරන්න සූදානම්. එම සාකච්ඡාවෙන් අනතුරුව කඩිනමින් විසදුම් අවශ්‍ය යෝජනා සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙන්වා. එම යෝජනා සංගමයෙන් අපිට ලබා දෙන්නේ නැතිනම්, අපිත් සමග සාකච්ඡා කරන්නේ නැතිනම් අපිට විතරක් මේ පිළිබදව චෝදනා කරන්න එපා. අපි එම සංගම් සදහා අවශ්‍ය නීත්‍යානූකූල පියවර ගන්න පසුබට වෙන්නේ නැහැ. ’’

තේරීම් තරඟ යෙදී ඇති බැවින් උසස් දක්ෂතා සංචිතයේ මළල ක්‍රීඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අද දින සාකච්ඡාවට සහභාගී නොවූ අතර ඔවුන් සමඟ ඉදිරි දිනක දී සාකච්ඡා කරන බව අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.