Spread the love

ගම්පහ දිස්ත්‍රික්කයේ වාණිජ මට්ටමින් බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා පියවර ගැණේ.

මෙම ව්‍යාපෘතියට අදාළව සමූපකාර සමිති පිහිටුවීමේ ක්‍රියාවලිය පිළිබඳ ව මෙහිදී දැනුවත් කළ අතර දිස්ත්‍රික්කය තුළ බිත්තර නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත විභවතා, තාක්ෂණික ගැටලු පිළිබඳ ව ද  සාකච්ඡා කරන ලදී.

සමූපකාර සමිති හරහා ව්‍යවසායකයන් දිරිගැන්වීමටත් තෝරා ගත් ව්‍යවසායකයන් 100 දෙනෙකු බිත්තර නිෂ්පාදනය සඳහා යොමු කිරීමටත් අපේක්ෂිතයි. විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් හා දැනට අත්දැකීම් ඇති ප්‍රතිලාභීන් මේ සඳහා තෝරා ගැනීම පිළිබඳ ව විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.

මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්.එස්. කිත්සිරි, රුචිර විතාන, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරුන් වන බී.එම්.එම්. බන්දුල, ප්‍රියන්ත පීරිස්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා කාර්යාලයේ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ නිලන්ති වික්‍රමතිලක, අත්තනගල්ල පශු වෛද්‍ය නිලධාරී සුජන්ත දසනායක‍, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සන්ධ්‍යා කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ව්‍යවසායකයන් පිරිසක් එක්ව සිටියහ.