Spread the love

ත්‍රිකුණාමලයේ ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්දේ පලටුපාන වෙරළ තීරයෙන් ගෙවුණු පැය 24 තුළ සුළු භූචලන දෙකක් වාර්තා වුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් භූ විද්‍යා විශේෂඥයින් පවසන්නේ එය ජනතාව බිය විය යුතු තත්ත්වයක් නොවන බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධිපති, මහාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකාවේ ජනතාව තේරුම්ගන්න අපේ පොළව ඉතාම වාසනාවන්ත පීහිටීමක තියෙන්නේ.  අපි ගොඩක් දුරයි භූතැටි මායිම්වලට. ඒ නිසා භූමිකම්පා ඇතිවෙන්නේ නැහැ ලංකා ගොඩබිමේ. ඉතින් ඒ හින්දා ලංකිකයින් අනිසි බියක් ඇතිකරගන්න එපා. පොළෙව හෙළවුණාට අපිට විනාශකාරී කිසිම දෙයක් කේන්ද්‍රයක් ඇතිවන තත්ත්වයක් ඇත්තේ නැහැ.” 

ගෙවුණු පෙබරවාරි මාසයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් භූ චලන වාර්තා වී තිබුණි.

පෙබරවාරි 10 වැනිදා රික්ටර් මාපාංක 3 ක අගයකින් යුත් භූ චලනයක් මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා තිබු අතර ඉන් මිනිත්තු 3 කට පසුව එම ප්‍රදේශවලටම යළිත් වරක් රික්ටර් මාපාංක 3.5 ක් වූ තවත් භූ චලනයක් හටගෙන තිබුණි.

ඊට පසු දින වූ පෙබරවාරි 11 වැනිදාත් වැල්ලවාය නැගෙනහිර ප්‍රදේශයට භූ චලනයක් හටගෙන තිබුණේ රික්ටර් මාපාංක 2.3 අගයකිනි.

ඉන්පසු පෙබරවාරි 22 වැනිදාද බුත්තල සහ වැල්ලවාය අතර කලාපයට රික්ටර් මාපාංක 3.3 කින් යුත් භූ චලනයක් සිදුව තිබුණු බවට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තහවුරු කළේය.

මෙවන් පසුබිමක ත්‍රිකුණාමලය, තිඹිරිවැව, ගෝමරන්කඩවල ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ භූ චලනයක් සිදුව තිබුණි.

රික්ටර් මාපකයේ 3ක අගය ගත් එය සුළු භූ චලනක් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

මේ අතර ඊයේ පස්වරු 06.46 ට තවත් භූ චලනයක් සිදුව තිබුණේ කිරින්ද – පලටුපාන මුහුදු ප්‍රදේශයෙනි.

එහි අගය දැක්වුණේ රික්ටර් මාපාංක 2.6 ක් ලෙසින්ය.

එම භූ චලන ද්විත්වයම පොළොව මතු පිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී ඇති අතර එය මෙරට භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව තිබුණි.