Spread the love


නිමල් රාජපක්ෂ –

සරසවි වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා පොලී රහිතව රුපියල් ලක්ෂ 11ක ණය මුදලක් රජය ලබා දීමට තීරණය කර ඇතැයි . මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙසේ ලබාදෙන ණ්‍ය මුදල නැවත ගෙවීම සිදු කල යුත්තේ රැකියාවක් ලැබීමෙන් පසුව බවද විශේෂත්වයකි –

මෙහි දි උසස් පෙළ සමත්ව රජයේ විශ්ව විද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක ණය මුදලක්ද ,
මීට අමතරව ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිත ය.

මෙරට ණය පොලී අනුපාත මේ වන විට 25%ටත් ඉහළ අගයකට පත් ඇති බැවින් එම පහසුකම සිසුන්ට ලබා දීමට තීරණය කළ බව හෙතෙම පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සිසුන් 5,000කට මෙම ණය පහසුකම ලබා දීමට නියමිත බව ද සියඹලාපිටිය කියා සිටියි.

මීට අමතරව දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන මෙම ණය පහසුකම ඉදිරියේ දී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම ණය ලබා දීමේ දී ඉසෙඩ් අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නා බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
අදාළ ණය මුදල විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව වසරක කාලයක් දක්වා ලබා දෙන අතර ආපසු ගෙවීම සිදු කළ යුත්තේ රැකියාවක් ලැබීමෙන් පසුව වීම විශේෂත්වයකි.