Spread the love

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තාව ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර විවෘත වරෙන්තුවක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් අවිස්සාවේල්ල අධිකරණයෙන් එම අවසරය ලබාගෙන ඇත.

ඩුබායි රටේ සැඟවී සිට හංවැල්ල සහ ඊට ආසන්න ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන කිහිපයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙස හා එම ප්‍රදේශවල පුද්ගලයන් කිහිපදෙනෙකුව තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයා බවටත් මෙම සැකකරුව හඳුනාගෙන තිබේ.

හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඩුබායි හි සිට මෙහෙය වූ ප්‍රධාන සැලසුම්කරු ලෙසද ඔහුව හඳුනාගෙන ඇත.

ඊට අමතරව හංවැල්ල හා ඊට තදාසන්න ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේ ජාවාරම ද සැකකරු ගෝලබාලයන් ලවා මෙහෙයවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.