Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ණය මුදල නිදහස් කිරීමෙන් පසුව ඩොලරයක රුපියල් වටිනාකම නැවත ඉහළ යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ එම ණය අනුමත කිරීමත් සමඟ දේශීය ආර්ථිකය පාලනයට අදාළ සීමා කිහිපයක් IMF එක විසින් පනවන බවට දැනුම් දී ඇති නිසාය.

මෙලෙස දැඩි සීමාවලට යටත් පළමු කාරණය වන්නේ මහ බැංකුව මගින් කෙරෙන මුදල් අච්චු ගැසීමයි.

ඒ සඳහා මූල්‍ය අරමුදල විසින් සීමාවක් පනවනු ඇතැයි සඳහන්ය.

රුපියල කඩා වැටීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් වැය කිරීමද නිශ්චිත සීමාවකට යටත් කිරීමට සැලැසුම්කර ඇති බව පැවසේ.

නිදහසේ රුපියලේ වටිනාකම තීරණය කළ යුතුය යන්න මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිය වේ.

එවිට මෙම සීමා කිරීම්වලට අමතරව රජයට දේශීය හා විදේශීය ණය ලබාගැනීම සඳහා ද විශේෂ ණය සීමාවක් පැනවෙනු ඇතැයි වාර්තා වේ.

මේ සියලු සීමා කිරීම් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් රටේ සුබසාධක ප්‍රතිලාභ ලබන්නන් අතරින් වැරදි තොරතුරු ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබන්නන් ඉවත් කිරීමත් කළ යුතු යැයි මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබේ.

මෙම උපදෙස්වලට යටත්ව මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදල ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට අනුමැතිය ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ඒ සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල රුස්වීම මෙම මස 20දා පැවැත්වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.