Spread the love

පොල් ගෙඩියක  මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස්  තිබේ. 

මේ වන විට කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 100 කට ද, මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 175ක් 200 ත් අතර මිලකට ද, ලොකු ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 250 ට ද මිලකට අලෙවි කෙරෙමින් ඇත.  ඇතැම් වෙළෙන්දෝ ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 300 ක ට ද විකුණන බව මේ පිළිබඳ අදහස් දැක්වූ පාරිභෝගික පිරිස් ලංකාසරට පැවසූහ .

පොල් මිල ඉහළ යාමත් සමග ගෙඩියක් මිලදී ගැනීමට නොහැකි පාරිභෝගිකයන් වෙනුවෙන් පොල් බිඳ පොල් බෑ අලෙවි කිරීමට මේ වනවිට ඇතැම් වෙළෙන්දෝ කටයුතු කරමින් සිටිති.

විශේෂයෙන් වෙළඳපොලේ පොල් හිගයක් පැවතීම පොල් මිල ඉහළ යාමට හේතුව බවත්  පොල් හිඟය නිසා ම වගාකරුවන් තමන් සතු ඵලදාව වැඩි මිලට අලෙවි කරන බවත් වෙළෙඳපල ආරංචි මාර්ග කියයි.

පොල් හිඟය සම්බන්ධව ලංකාසර කළ විමසීමකදී පොල් වගාකරුවන් කිහිපදෙනෙකුම කියා සිටියේ වෙනත් වසරවලට වඩා මේ වසරේ මේ කාලය තුළ දී පොල් ඵලදාව විශාල අඩුවීමක් සිදු වූ බවය.

පොල් පොහොර හිඟය නිසා පොල් වගාවට කලට වේලාවට පොහොර යෙදීමට නොහැකි වීම ඵලදාව අඩු වීමට හේතු වී ඇතැයි පෙන්වා දෙන වගාකරුවෝ මෙවර පොල් ඵලදාවේ ගෙඩි ද කුඩා වූ බව කියා සිටිති .

මේ අතර මීට ඉහත පොල් මිල ඉහළ ගිය අවස්ථාවේ පාරිභෝගික සේවා අධිකාරිය පොල්වල වට ප්‍රමාණය අනුව පාලන මිලක් 2020 දී ක්‍රියාත්මක කර පසුව පාලන මිල ඉවත් කළේය.