Spread the love

දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොලඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ලබන වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කිරීටම තීරණය කොට ඇතැයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


ඇමතිවරයා මෙම අදහස් පළකලේ සිය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී ඊයේ (13) පැවැති විශේෂ සාකච්ජාවකදීය.
මෙම වැඩපිලිවෙලේ ප්‍රථම පියවර ලෙස කන්කසන්තුරේ සහ පාන්ඩිචෙරි අතර මගී යාත්‍රා (ෆෙරි) සේවාවන් ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට සැලසුම් ඇති කර ඇති බවත් ඒ සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලබා දී ඇති බවත් අ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

ඉන්දියානු ජාතිකයින් විශාල වශයෙන් යාපනය අර්ධදීපයේ ව්‍යාපාර කටයුතු වල නියැලෙන බැවින් මෙවැනි මගී යාත්‍රා සේවාවන් ආරම්භ කිරීම තුළින් මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිවන බවත්, එමෙන්ම දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුන්ටද මෙම මගී යාත්‍රා සේවාව විශාල සහනයක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය.
මෙම සාකච්චාවේදී යාත්‍රා හිමියන් කියා සිටියේ මගී යාත්‍රා සේවාවන් ආරම්භ කිරීමට වරායන් තුල දැනට තිබෙන යටිතල පහසුකම් වැඩිදියුණු කල යුතු බවයි.
ඒ අනුව මෙම මගී යාත්‍රා සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය රේගු, ආගමන විගමන කටයුතු සඳහා වරායන්හි යටිතල පහසුකම් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ සඳහා රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව කටයුතු කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දෙන ලදී.
වරකට මගීන් 300 ක් හෝ 400 ක් පමණ රැගෙන යා හැකි මෙම යාත්‍රාවකට එක් ගමනාන්තයක් සඳහා පැය 3 ½ ක පමණ කාලයක් ගතවන බව මෙම සාකච්චාවට සහභාගී වූ යාත්‍රා හිමියන් පැවසූහ.
එක් ගමන්වාරයක් සඳහා ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 60 ක් පමණ එක් මගියකුගෙන් අයකිරීමට නියමිත බවත් කිලෝ ග්‍රෑම් 100 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බවත් යාත්‍රා හිමියන් අවධාරණය කලේය.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය, නාවික හමුදාව නියෝජනය කරමින් කමාන්ඩර් සේනක වාහල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් ද මගී යාත්‍රා හිමියන් පිරිසක් ද සහභාගි වූහ.