Spread the love

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු රජයේ නියෝජිතයින්ගෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් (Gopal Baglay) ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු ඉන්දීය රජයේ නියෝජිතයින්ගෙන් සමන්විත මෙම ඒකාබද්ධ අධීක්ෂණ කමිටුව අද (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යලයේ දී රැස් වූ අතර ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට එහි දී තීරණය කෙරිණි.
මෙම ව්‍යාපෘතියට අදාළ ව පසුගිය මාර්තු මස 28 දින, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමේ දිගුවක් ලෙස මෙම ඒකාබද්ධ කමිටුව රැස් වූයේ දෙවන අවස්ථාවටයි.

සාකච්ඡාවේ දී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබූ අතර, එය සාර්ථක ව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය මෙරට ස්ථාපනය කිරීමට සුදුසු සැපයුම් ආයතනයක් හෝ ආයතන සමූහයක් තෝරා ගැනීම ප්‍රධාන අරමුණ වී තිබේ. එම සැපයුම් ආයතනය හෝ ආයතන සමූහය තෝරා ගැනීම සඳහා මිල ගණන් කැඳවීම නුදුරු දිනයක දී සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය (SL-UDI) සඳහා මෘදුකාංග සංවර්ධනය ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා ඉන්දීය රුපියල් මිලියන 3000ක් ලබා දීමට, ඉන්දීය රජය එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව ප්‍රධාන ස්වයංක්‍රීය ජෛවමිතික පද්ධති සහ අනෙකුත් මෘදුකාංග පද්ධති, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA ) පූර්ණ අධීක්ෂණය සහ උපදේශනය යටතේ ස්ථාපනය කෙරේ.

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියත් සමඟ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දීමට නියමිත ඩිජිටල් ජාතික හැඳුනුම්පත නව මුහුණුවරක් ගනු ඇත. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත සකස් කිරීමට අදාළ සියලු මෘදුකාංග හා ඊට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙනු ලැබේ.

ජාත‍න්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිතියට අනුකූල ව වයස අවුරුදු 15 හෝ ඊට වැඩි පුරවැසියන්ගේ ජීව දත්ත තොරතුරු, ජෛවමිතික ලක්ෂණ (ඇඟිලි සලකුණු ලබා ගැනීම, මුහුණ, ඇස, කළු ඉංගිරියාව ඡායාරූපගත කිරීම) ඇතුළත් ජාතික පුද්ගල නාම ලේඛනයක්, මධ්‍ය පද්ධතියක් ලෙස ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට සහාය ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා ක්‍රමවේදයට ඇතුළත් වීමෙන් දත්ත වෙනස් කිරීම්, අනවසර ප්‍රවේශ, අනන්‍යතා සොරකම් කිරීම් තවදුරටත් සිදු කළ නොහැකි ය. එමෙන් ම අනවසර භාවිතය, සයිබර් අපරාධ වළක්වා ගැනීමට ද මෙයින් හැකියාව උදා වේ.

තව ද රාජ්‍ය අංශයේ සේවා ලබා ගැනීමේ දී පමණක් නොව පෞද්ගලික අංශයේ බැංකු, රෝහල්, රක්ෂණ ඇතුළු අනෙකුත් සේවාවන් විශ්වාසනීය සහ කාර්යක්ෂම ව ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය මඟින් අවකාශ සැලසෙනු ඇත. මේ අනුව වසර එක හමාරක් ඇතුළත සුදුසුකම් ලත් සියලු දෙනා වෙත ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ ඉලක්කයයි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව මඟින් අඛණ්ඩ ව සිදු කරනු ලැබේ.

තොරතුරු තාක්ෂණ පද්ධති ස්ථාපනය කිරීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව 2024 වසරේ දී පුද්ගල දත්ත රැස් කිරීම ආරම්භ කිරීමට නියමිත ය.