Spread the love

බඳින තුවක්කුවක වෙඩිල්ලක් පත්තු වීම යාල වනෝද්‍යානයේ විසේකාර හස්තියා වන ගැමුණු ගේ දකුණු පාදයට තුවාල සිදුවුවන් කඩිනමින් ප්‍රතිකාර කිරිමෙන් පසු මේ වනවිට හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගැමුණුගේ දකුණු පාදයට තුවාල සිදුවී ඇති බව සැලවීමත් සමගින් වනජීවි අමාත්‍යාංශයේ වනජීවි නිලධාරින්ද ,වෛද්‍ය වරුන්ද ප්‍රතිකාර කළහ . මීට අමතරව මේ සඳහා කොළඹ සිට විශේෂඥ වෛද්‍යවරියක් වන ගංගා විජේසිංහ මහත්මිය ද යාලට පිටත් කර හැරීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබිණ.
පෙරේදා (25) පස්වරුවේ යාල වනෝද්‍යානයට ගිය අමාත්‍යවරයා ගැමුණුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කරුණු විමසනු ලැබීය. එම අවස්ථාවට වනජීවි හා වනසම්පත් අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය , වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම ගැමුණුට ප්‍රතිකාර ලබා දීම සඳහා කොළඹින් පිටත් කර හරින ලද වෛද්‍යවරිය වන ගංගා විජේසිංහ මහත්මිය ද සහභාගි වුහ.

එහිදී වෛද්‍ය කණ්ඩායම ගැමුණු ගේ පාදයට වෙඩිල්ල වැදීම නිසා පාදයේ අස්ථියට හානියක් සිදුවී නොමැති බව නිරීක්ෂණය කළ බවත්, එම හස්තියාට දිගුකාලීනව බලපවත්වන ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති බවත් සඳහන් කළේය. එමෙන්ම මේ වනවිට ගැමුණු වැටී සිටි තැනින් නැගිට වනය තුළට ගමන් කරන බවත්, එම හස්තියා පසුපස නිරීක්ෂණය කරමින් ගැමුණුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමට කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත් පැවසීය.

ඊයේ දින (26) පෙරවරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා යාල වනෝද්‍යානයේ ගැමුණුට වෙඩි වැදී සිටි ස්ථානයට ගිය ද ගැමුණු වනාන්තරයට ගොස් ඇති බව නිරීක්ෂණය කළේය.
කෙසේ වුවද යාල වනෝද්‍යානය තුළ නීතිවිරෝධී ලෙස බඳින තුවක්කු යොදා සතුන් ඝාතනය කරන කණ්ඩායම් අත් අඩංගුවට ගැනීම සඳහා සිදු කරන වැටලීම් වැඩි කරන ලෙසත්, අවශ්‍ය නම් යුද හමුදාවේ හෝ සිවිල් ආරක්ෂක බලකායේ සහ‍යෝගය ලබා ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.