Spread the love

ජාතික සභාව විසින් ගෙනෙනු ලබන යෝජනා සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය සඳහා විශේෂිත ව්‍යවස්ථාපිත ආයතනයක් පිහිටුවීම පිළිබඳව ‘ජාතික සභාවේ’ දී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙහිදී ජාතික සභාව ගෙනෙන යෝජනා සහ නිර්දේශ ලෙඛනයකට පමණක් සීමා නොවිය යුතු බවත් ඒවා ක්‍රියාත්මක විය යුතු බවත් ඒ පිළිබඳ පසු විපරමක් සිදු විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ මහතා සහ පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය. එබැවින් ඒ සඳහා ව්‍යවස්ථාපිත ආයතනයක් ආරම්භ කිරීම හෝ දැනට පවතින ආයතනයක් ප්‍රතිව්‍යුහගතකිරීම සිදුකළ යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මෙම යෝජනාව සම්බන්ධයෙන් එකඟතාවය දැක්වූ අතර ඉක්මනින් මෙම ආයතනය පිහිටුවීමේ හැකියාව පිළිබඳ සොයා බලන බව සඳහන් කළේය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාතික සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
මෙහිදී ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ගේ සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහයේගය ලබා ගැනීම සම්බන්ධයෙන් සකස් කරන ලද යෝජනා පිළිබඳව සහ ඔවුන් සමඟ කරන ලද සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳව ‘කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ’ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජාතික සභාවට ඉදිරිපත් කරන ලදි.
‘ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ’ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් බැංකු ක්ෂේත්‍රය, ප්‍රවාහන ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය සහ ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳ සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රගතිය ජාතික සභාව වෙත ඉදිරිපත් කරන ලදි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළේ, ඉන්ධන සහ බලශක්ති අර්බුදය ඉදිරි වසරවලදී මුහුණදීමට සිදුවන දැවැන්ත අභියෝගයක් බවයි. එබැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ඊට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ සඳහා ජාතික සභාව අවධානය යොමු කළ යුතු බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව එක්ව කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය. ඉදිරියේදී පළාත් සභා මැතිවරණයකින් අනතුරුව මෙම අවශ්‍යතාව වැඩි වශයෙන් දැනෙනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, අසංක නවරත්න, ඒ.එල්.එම් අතාඋල්ලා සහ සාගර කාරියවසම් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර මහත්මිය ද සහභාගී වූහ.