Spread the love

මූල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට බන්ධනාගාරය තුළට ගොස් සැකකාරියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසුවේය.

ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබන 30 වැනිදා දක්වා අවසර ලබාදී ඇති බව සඳහන් වේ.

මේ අතර සැකකාර තිළිණි ප්‍රියමාලි බන්ධනාගාරය තුළදී නීතිවිරෝධී ලෙස ජංගම දුරකථනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර්  මස 08 වනදා දක්වා කල්දමා තිබේ.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් වන නඩු විභාගය පසුගිය 24 වනදා වැලිකඩ බන්ධනාගාරයේදී කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ කැඳවා තිබුණි.

එහිදී එහි වැඩිදුර විභාගය දෙසැම්බර් මස 08 වනදා දක්වා කල්තැබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේය.